නාවලපිටිය පස්බාගේ කෝරළේ පිහිටි සුන්දර හඟරන්ඔය දිය ඇල්ල සහ ඒ ආශ්රිත රක්ෂිත ප්‍රදේශය දීර්ඝ කාලයක සිට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති තනි පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීම හේතුවෙන් ප්‍රදේශයේ සංචාරක සංවර්ධන කටයුතුවලට දැඩි බාධා මතුවී ඇති බව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී අනාවරණය විය. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්රීනී තුෂාරි ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවේදී, අදාළ භූමිය සඳහා ලබා දී තිබූ බදු ගිවිසුම් කාලය 2016 වසරේදීම අවසන් වී තිබියදීත්, එම පුද්ගලයා විසින් නීතිවිරෝධී ලෙස අක්කර හතරකට අධික භූමි ප්‍රදේශයක් සහ වතු බංගලාවක් අත්පත් කරගෙන සිටින බව නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.
මෙම අනවසර පදිංචිකරු විසින් දිය ඇල්ල ප්‍රදේශයට ඇතුළු වීමට මහජනතාවට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට සහ පොලිසියට පවා නිරන්තරයෙන් බාධා පමුණුවමින් සිටින අතර, ඊට එරෙහිව කටයුතු කරන ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට සහ ජනතා නියෝජිතයන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හා ද්වේෂසහගත ප්‍රකාශ පවා පතුරුවා හරින බව හෙළි විය. රාජ්‍ය දේපළක් මෙලෙස පුද්ගල අභිමතාර්ථ මත පාලනය වීම සහ නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ අමාත්‍යවරයා සහ කමිටු සාමාජිකයන්, මෙවැනි නීතිවිරෝධී ක්‍රියා හමුවේ රජය දැඩිව පියවර ගන්නා බව අවධාරණය කළහ.
මේ තත්ත්වය මත පදනම්ව, අදාළ ප්‍රශ්නගත දිය ඇල්ල සහ ආසන්න රක්ෂිත ප්‍රදේශය මින් ඉදිරියට කිසිදු පාර්ශ්වයකට බදු දීමෙන් වළකින ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලයට දැඩි ලෙස දැනුම් දී තිබේ. එමෙන්ම, මෙම ස්වභාවික සම්පත නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රාදේශීය සභාව නගාසිටුවීමේ අරමුණින් එය විධිමත් සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික නිර්දේශ මේ වන විට ලබා දී ඇති අතර, ඉදිරියේදී නීත්‍යානුකූලව මෙම භූමිය සම්පූර්ණයෙන්ම මහජන අයිතියට පත් කිරීමට නියමිතය.














