ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් ‘අධිකරණයට අත නොතබනු, විධායකයේ වියරුවට එරෙහිව මහජන පෙත්සම’ සඳහා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් පසුගිය (25) දින නාවලපිටිය නගර මධ්‍යයේදී පවත්වන ලදී. වත්මන් රජය විසින් උත්තරීතර අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට කටයුතු කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩු පත් නොකිරීම වැනි අත්තනෝමතික ක්‍රියාපටිපාටීන් හරහා අධිකරණයේ ස්වාධීනත්වයට අනිසි බලපෑමක් එල්ල වන බව මෙම අවස්ථාවට එක්වෙමින් නාවලපිටිය සමගි ජන බලවේග ආසන සංවිධායක සසංක සම්පත් මහතා ප්‍රකාශ කළේය. රජය බලයට පත්වන අවස්ථාවේදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙවැනි කාරණා සඳහන් කර නොතිබූ බව පෙන්වා දුන් ඒ මහතා, ජනතාව නොඉල්ලන මෙවැනි ක්‍රියාදාමයන් නවත්වා ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
මෙම මහජන පෙත්සම සඳහා අත්සන් තැබීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටි අතර, නාවලපිටිය නගර සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මෙන්ම, නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේග කණ්ඩායමට විරුද්ධ වූ ස්වාධීන කණ්ඩායම් අංක 01 හි නායක සහ නාවලපිටිය නගර සභාවේ උප සභාපති කේ. සුරේෂ්වරන් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති විවිධ මතභේද සහ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අතර මෙම පෙත්සම් ව්‍යාපාරය විශේෂ අවධානයට ලක්ව තිබේ.














