දිවයින පුරා පවතින ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් කඳුකර ප්‍රදේශ රැසක නායයෑම් අවදානම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිවේදනය කරයි. ඒ අනුව අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) පස්වරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක දෙකක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 3 වන මට්ටමේ (Level 3) “වහාම ඉවත් වන්න” යන රතු නිවේදන නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබේ.
මෙලෙස දැඩි නායයෑම් අවදානමක් සහිත රතු නිවේදන නිකුත් කර ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ය. අදාළ ප්‍රදේශවල නායයෑම් ලක්ෂණ පවතින ස්ථාන, බෑවුම් සහිත බිම් සහ කඳුකර ආශ්‍රිතව ජීවත්වන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස නිලධාරීන් උපදෙස් දෙයි. මීට අමතරව නායයෑම් අවදානම් කලාප හරහා දිවෙන මාර්ග පරිහරණය කරන රියදුරන් ද දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.














