මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් 07 දෙනාගේ සහ බන්ධනාගාර රැඳවියන් 20 දෙනාගේ මෘතදේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා, එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (07) මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්න මහතාට නියෝග කළාය.
මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් බණ්ඩාර යන මහත්වරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින්, මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
තවද, මරණකරුවන්ගේ පවුල්වල භාරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් කර මෘත දේහයන් ඔවුන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙස මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට අධිකරණය නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද පොලිසියට වැඩිදුරටත් දැනුම් දෙන ලදී.
















