මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී ජීවිතක්ෂයට පත් වූ ඉන්දීය ජාතික රැඳවියකු වන උම්නිතාත් සරත්චන්ද්‍රන් නමැත්තාගේ මෘත දේහය මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී විශේෂ ආරක්ෂාවක් යටතේ පසුගිය 02 වැනි දින මිහිදන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා තිබේ. මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ ඊයේ (08) මෙම නඩුකරය කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 11 දෙනෙකු ඊයේ නම් කර ඇති අතර, ඒ අනුව මේ වන විට නම් කර ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 81 කි. මීට අදාළව මේ වන විට ප්‍රකාශ 2,200ක් පමණ ලබාගෙන ඇති බවත්, රස පරීක්ෂක වෙත යොමු කර ඇති නඩු භාණ්ඩ සඳහා මෙතෙක් වාර්තා ලැබී නැතැයිද CIDය අධිකරණයට වැඩිදුරටත් කියා සිටියේය.














