අද (05) දහවල් මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවා දීමක් මුල් කරගනිමින්, “බූරු මූණා” නැමැති පාතාල කල්ලි සාමාජිකයා සමඟ සබඳතා පවත්වන සුරේෂ් නැමැත්තෙකුගේ මෙහෙයවීමෙන් මෙම ගැටුම හටගෙන ඇති බව පොලීසිය පවසයි. බන්ධනාගාරය තුළ සිටි ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇති වී තිබේ. ගැටුම අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි සිටි රැඳවියන්ට පහර දී ඇති අතර, බන්ධනාගාර ඔසුසල කඩා වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කිරීමේ සිද්ධියක් ද වාර්තා වී තිබේ.
බන්ධනාගාරය තුළ පවතින උණුසුම් තත්ත්වයත් සමඟ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවයක නිරත වූහ. බන්ධනාගාරය ඉදිරිපිට රැස් වූ රැඳවියන්ගේ ඥාතීන් තොරතුරු නොලැබීම හේතුවෙන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර, පසුව පොලීසිය මැදිහත් වී ඔවුන්ට රෝහල්ගත කළ රැඳවියන්ගේ සුවදුක් බැලීමට අවස්ථාව ලබා දෙන ලදී. පාලනය කර ගැනීම අපහසු වූ මෙම තත්ත්වය සමනය කිරීම සඳහා පොලීසිය, කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය තුළ සහ අවට ආරක්ෂාව සඳහා යොදවා තිබේ. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් 1800ක් පමණ රඳවා සිටින අතර, මෙය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම සිටින ස්ථානයකි.
















