මීගමුව බන්ධනාගාරයේ සිදුවූ දරුණු ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියන් ප්‍රවාහනය කිරීමේදී සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් පූර්ණ, සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
එම නිවේදනයට අනුව, ජූලි 5 වැනිදා ආරම්භ වූ ප්‍රචණ්ඩත්වය පාලනය වුවද, රැඳවියන් සහ නිලධාරීන් වෙන් කිරීමට පියවර නොගැනීම හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වී ඇත. ජූලි 6 වැනිදා ආහාර ගනිමින් සිටි රැඳවියන් වෙත නිලධාරීන් යොමු කිරීම ගැටුම් කුපිත කිරීමට ගත් පියවරක් බඳු බවත්, අවම බලයක් භාවිත කළ හැකිව තිබියදී ආරක්ෂක නිලධාරියෙකු දොරක සිදුරක් තුළින් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම බරපතළ සැක මතු කරන බවත් එම විපක්ෂය ප්‍රශ්න කරයි.
මෙසේ ජීවිත හානි සිදුවෙද්දී විෂය භාර අධිකරණ අමාත්‍යවරයා අදාළ ස්ථානයට පැමිණීමට හෝ හදිසි සාකච්ඡාවලට සහභාගී නොවීම දැඩි කණගාටුවට කරුණක් බවද “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.














