දූෂණය පිටුදැකීම අරමුණු කරගනිමින් නේපාලයේ වත්මන් සහ හිටපු දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන්ගේ වත්කම් හා දේපළ පරීක්ෂා කිරීම සඳහා විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට නව අග්‍රාමාත්‍ය බැලේන්ද්‍ර ශා (Balendra Shah) මහතා පියවර ගෙන තිබේ. රැප් ගායකයෙකු ලෙස ප්‍රසිද්ධව සිට පසුව දේශපාලනයට පිවිසි 35 හැවිරිදි බැලෙන් ශා මහතා, පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති දූෂණ විරෝධී ‘Gen Z’ උද්ඝෝෂණවලින් පසු පැවති මැතිවරණයෙන් ජයග්‍රහණය කර පසුගිය මාර්තු 27 වන දා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රාජේන්ද්‍ර කුමාර් භණ්ඩාරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව හරහා අපක්ෂපාතී විමර්ශනයක් සිදු කරන බව රජයේ ප්‍රකාශක සාස්මිත් පොක්රෙල් (Sasmit Pokhrel) මහතා සඳහන් කළේය. කත්මණ්ඩු නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් දූෂණයට එරෙහිව දැඩි පිළිවෙතක් අනුගමනය කළ බැලෙන් ශා මහතා, අග්‍රාමාත්‍යවරයා ලෙස ගත් මෙම පළමු ප්‍රධාන පියවර ජාත්‍යන්තරයේ ද අවධානයට ලක්ව තිබේ.














