නේපාලයේ ඇතිවූ හදිසි ජල ගැලීම් තත්ත්වය සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් වී තිබුණද, අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සිදුකළ වැඩිදුර විශ්ලේෂණවලින් අනාවරණය වී ඇත්තේ භූ කම්පනයක් නිසා නොව ග්ලැසියරයක් කඩා වැටීමෙන් සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවේ ජල මට්ටම එකවර ඉහළ ගොස් මෙම දැවැන්ත ජල ගැලීම හටගෙන ඇති බවයි. මුලින් වාර්තා වී තිබුණේ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයක් භූ කම්පනයක් හේතුවෙන් නායගොස්, චීනයේ සිට ගලාබසින බෝත්කොෂි ගංගාවේ අතු ගංගාවක් වන ටිබෙටයේ ලෙන්දේ කෝලා ගඟට පෙරළී මෙම ආපදාව ඇති වූ බවය.
පුද්ගලයන් සිය ගණනකට දිවි අහිමි කරමින් සහ තවත් පිරිසක් අතුරුදන් කරමින් මෙම මහා ජලගැලීම් ආපදාව නේපාලයට බලපෑවේ ඊයේ පෙරවරු 8.30ට පමණ වන අතර, අද (27) පෙරවරු කාලය වනවිට මළසිරුරු 170කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. නේපාල – චීන ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ මෙම දරුණු ආපදා තත්ත්වයෙන් නිවාස, මාර්ග සහ පාලම් රැසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මෙම ජල ගැලීම්වලින් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නේපාලයේ චිත්වාන් දිස්ත්‍රික්කයට වන අතර, නුවකොට්, ධාඩිං, ගෝර්කා, තනාහුන් සහ නවාල්පූර් යන ප්‍රදේශවලින් ද දරුණු හානි වාර්තා වී ඇත. විශාල ජල ගැල්මත් සමඟ මඩ සහ ගල් විශාල ප්‍රමාණයක් පහළ ප්‍රදේශ වෙත ගලාඒමෙන් ගම්මාන රැසක් මඩවලින් යටවී ඇති අතර, මේ වන විට අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
—














