ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහුගේ පවුලේ සාමාජිකයන් වටා ගෙතුණු අතිශය අන්දභූත සහ රහසිගත තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය තුළ දැඩි කතාබහක් නිර්‌මාණය වී තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ වැඩිමහල් පුත්‍රයා වන යායිර් නෙතන්‍යාහු (Yair Netanyahu) පසුගිය මාස 18 ක කාලය පුරා කිසිවෙකුටත් නොදැනෙන සේ සිය අනන්‍යතාවය වෙනස් කර ඇති බව බදු ලේඛන ඇසුරින් හෙළි වී ඇත. බලගතු රාජ්‍ය නායකයෙකුගේ සමීපතමයන් මෙලෙස රහසිගත ලෙස තමන් කවුදැයි සැඟවීමට උත්සාහ කිරීම පිටුපස ඇති සැබෑ දේශපාලන හෝ ආරක්ෂක හේතුව කුමක්ද යන්න පිළිබඳව ලෝකය පුරා මේ වන විට විවිධ මතිමතාන්තර පළ වෙමින් පවතී.
නිල වාර්‌තාවලට අනුව, යායිර් නෙතන්‍යාහු විසින් සිය ජාතික හැඳුනුම්පත් අංකය එලෙසම තබා ගනිමින්, සිය නම “යොනතන් හුන්” (Yonatan Hun) ලෙස රහසින්ම වෙනස් කර ඇති අතර ඔහුගේ පදිංචි ලිපිනය ලෙස Balfour 0 නමැති ප්‍රබන්ධ ලිපිනයක් ද ලියාපදිංචි කර තිබේ. මෙම අසාමාන්‍ය අනන්‍යතා වෙනස් කිරීම් ඔහුගේ සහෝදරයා වන ඇව්නර් ද මීට වසර කිහිපයකට පෙර සිදු කර ඇති අතර, ඔහු “අවි සේගාල්” යන නමින් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්‌ඩ් හි නිවසක් ද මිලදී ගෙන ඇති බව අනාවරණය වේ. මෙවැනි රහසිගත ක්‍රියාවන් නෙතන්‍යාහු පවුලට ආගන්තුක නොවන අතර, ඔවුන්ගේ පියා වන බෙන්ජමින් නෙතන්‍යාහු ද 1970 දශකයේ අමෙරිකාවේ අධ්‍යාපනය ලබන සමයේ සිය නම “බෙන් නිතායි” ලෙස වෙනස් කර භාවිත කර තිබීම විශේෂත්වයකි.
රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළම වගකීම් දරන පවුලක සාමාජිකයන් මෙලෙස ව්‍යාජ ලිපින සහ වෙනස් නාමයන් භාවිත කිරීම හුදෙක් පෞද්ගලික රුචිකත්වයක් මත සිදුවූවක් ලෙස ජාත්‍යන්තර නිරීක්ෂකයන් සලකන්නේ නැත. ගෝලීය වශයෙන් එල්ල වන විවේචන, බදු ක්‍රියාවලීන් හෝ පෞද්ගලික ආරක්ෂාව මුල් කරගනිමින් මෙම පියවර ගන්නට ඇති බවට විවිධ පාර්‌ශ්ව චෝදනා කරන අතර, මෙය රාජ්‍ය නායකයෙකුගේ පාරදෘශ්‍යභාවය පිළිබඳව ද බරපතල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි. බලයේ අසිරිය මධ්‍යයේ වුවද ලෝකයෙන් සැඟවී ජීවත් වීමට ප්‍රබල නායකයන්ගේ දරුවන්ට පවා සිදුවී ඇති අයුරු පසක් කරමින්, මෙම පුවත ඉදිරි දිනවලදී ඊශ්‍රායල දේශපාලනය තුළ තවත් අර්‌බුද රැසක් නිර්‌මාණය කිරීමට හේතු වනු ඇත.
















