ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) ලබන සතිය වැනි කෙටි කාලයක් ඇතුළත ධවල මන්දිරයේ සංචාරයකට පැමිණීමට ඉඩ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) පවසයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයෙන් පසුව නෙතන්යාහු ඇමරිකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර, ට්‍රම්ප් දෙවන වරට බලයට පත්වීමෙන් පසු ඔහු මෙහි පැමිණෙන 7 වන වතාව මෙයයි.
‘Axios’ පුවත් සේවය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, මෙම හමුව සඳහා නෙතන්යාහු විසින්ම ඉල්ලීමක් කර ඇති බවයි. ජූලි 7 සහ 8 යන දිනවල තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) සමුළුවට සහභාගී වී තමන් ආපසු පැමිණීමෙන් පසු මෙම හමුව ධවල මන්දිරයේදී සිදුවිය හැකි බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, මේ වන විට ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර යම් දේශපාලන නොසන්සුන්තාවක් පවතින පසුබිමක මෙම සංචාරය සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඉරානය සමඟ සටන් විරාමයකට එළඹීමට ට්‍රම්ප් පාලනාධිකාරිය ගන්නා උත්සාහයන්ට ඊශ්‍රායලය විරුද්ධ වී ඇති අතර, ලෙබනනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් විසින් නෙතන්යාහුව ප්‍රසිද්ධියේ විවේචනය කර තිබුණි. එහෙත් දෙදෙනා අතර පවතින ගැටුම් පිළිබඳ කතා ප්‍රතික්ෂේප කළ ට්‍රම්ප්, “අපි අතර හොඳ සන්නිවේදනයක් තියෙනවා. හැබැයි මෙතන බොස් (නැත්නම් ප්‍රධානියා) කවුද කියලා නෙතන්යාහු හොඳටම දන්නවා” යනුවෙන් සිය බලය ඉස්මතු කරමින් පවසා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්
















