ආක්‍රමණය කරන ලද පලස්තීන භූමීන්හි පිහිටුවා ඇති නීති විරෝධී ඊශ්‍රායල ජනාවාසවලින් භාණ්ඩ ආනයනය, මිලදී ගැනීම සහ විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ.
ලබන සැප්තැම්බර් 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පනවන බව නෙදර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය තොම් බේරෙන්ඩ්සන් (Tom Berendsen) පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත. යුරෝපා සංගමය (EU) පොදුවේ මෙවැනි තහනමක් පැනවීමට තවමත් එකඟතාවකට පැමිණ නොමැති පසුබිමක, බෙල්ජියම, ස්පාඤ්ඤය සහ අයර්ලන්තය මෙන් නෙදර්ලන්තය ද තනි තීරණයක් ලෙස මෙම සම්බාධක පනවා තිබේ.
නෙදර්ලන්තයේ මෙම තහනම ප්‍රධාන වශයෙන්ම බටහිර තීරයේ සහ ගෝලාන් සානුවේ නිෂ්පාදිත අලිගැටපේර, රටඉඳි, දොඩම්, මිදි සහ වයින් වැනි කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා බලපානු ඇත. මෙම නීති විරෝධී ජනාවාස ජාත්‍යන්තර නීතියට පටහැණි වන බැවින්, ඊට අනුබල නොදීම සිය ජාත්‍යන්තර වගකීමක් බව නෙදර්ලන්ත රජය අවධාරණය කරයි.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්














