ලොව පුරා ඉහළ යමින් පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව සහ හදිසි අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස, නෙදර්ලන්ත මහ බැංකුව (DNB) ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ තැන්පත් කර තිබූ සිය රත්රන් සංචිතවලින් ටොන් 86ක් ලන්ඩන් නුවර වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ.
හදිසි අර්බුදයකදී ඇමෙරිකාවේ හෝ කැනඩාවේ ඇති සංචිතවලට වඩා ලන්ඩනයේ තැන්පත් කර ඇති රත්රන් ඉතා වේගයෙන් සහ පහසුවෙන් මූල්‍ය හුවමාරු සඳහා යොදාගත හැකි වීම මෙම තීරණයට ප්‍රධාන හේතුව බව නෙදර්ලන්ත මහ බැංකුව පවසයි. මෙම රත්රන් හුවමාරු කිරීමේ විශේෂ මෙහෙයුම පසුගිය මාර්තු සහ අගෝස්තු මාස අතර කාලය තුළ ආරක්ෂිතව සිදු කර ඇත. ඇමෙරිකාවේ පවතින වත්මන් දේශපාලන වාතාවරණය ද මීට එක් හේතුවක් වන්නට ඇති බව මූල්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙන අතර, වෙනත් මහ බැංකු ද මෙම පියවර අනුගමනය කළහොත් ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසයට බාධා එල්ල විය හැකි බවට විචාරකයෝ අනතුරු අඟවති.














