2025 අයවැය මඟින් වෙන්කළ රුපියල් මිලියන 25ක ප්‍රතිපාදන යටතේ දිවයින පුරා ජලාශ 25ක ක්‍රියාත්මක කළ විශේෂ නියමු ව්‍යාපෘතියක් හේතුවෙන් මෙරට මිරිදිය ඉස්සන් අස්වැන්න විශාල ලෙස ඉහළ ගොස් තිබේ. සාම්ප්‍රදායික ක්‍රමයේදී 1%-3% ක් වැනි ඉතා අඩු මට්ටමක පැවති ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය (Survival Rate), සීනෝර් ආයතනයේ විශේෂ රවුම් දැල් කූඩු තුළ සති 6ක් පෝෂණය කර මුදාහැරීමේ නව තාක්ෂණය නිසා 40%-55% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ගිරිතලේ, අක්කරායන්කුලම් සහ පුදුමුරිප්පු ජලාශවලින් පසුව, මොණරාගල කිරිඉබ්බන් වැව ජලාශයෙන් ද 55%ක ඉහළම ජීව්‍යතා ප්‍රතිශතයක් වාර්තා කරමින් මෙම ව්‍යාපෘතියේ තෙවන අදියර සාර්ථකව නිමා කර තිබේ. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය හරහා ග්‍රෑම් 300 ඉක්මවන උසස් තත්ත්වයේ ඉස්සන් අපනයන වෙළෙඳපොළට සහ සංචාරක හෝටල් වෙත ලබා දී ධීවර ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂිතය.
















