අමෙරිකාවේ නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ කොන්කෝඩ් මහජන පුස්තකාලයට වසර 132කට පෙර ලබාගත් සඟරාවක් නැවත භාරදී තිබෙනවා. ඒ, 1894 සැප්තැම්බර් කලාපයේ The Century Illustrated Monthly Magazine සඟරාවයි.
එය නැවත භාරදීමට නියමිත දිනයෙන් දින 48,220ක් ප්‍රමාද වී ඇති අතර, සාමාන්‍ය දඩ ක්‍රමය යටතේ අමෙරිකානු ඩොලර් 12,055ක පමණ දඩයක් අයවීමට තිබූ බව සඳහන්. ජෝන් නමැති පුද්ගලයෙකු විසින් සඟරාව භාරදී ඇති අතර, දශක ගණනාවක් තම නිවසේ තිබූ එය එහි පැමිණියේ කෙසේදැයි නොදන්නා බව ඔහු පවසා තිබෙනවා.
පුස්තකාලය 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට වසරක කාලයක් සඳහා ප්‍රමාද දඩ අහෝසි කිරීමේ සහන කාලයක් ක්‍රියාත්මක කර තිබෙනවා. එම සහනය පිළිබඳ පුවත්පත් වාර්තාවක් දැකීමෙන් පසුව සඟරාව නැවත භාරදීමට තීරණය කළ බව ජෝන් පවසා ඇති අතර, දුර්ලභ සඟරාව සාමාන්‍ය පරිශීලනයට ලබා නොදී පුස්තකාලයේ ඓතිහාසික තොරතුරු සඳහා වෙන් කර ඇති ‘කොන්කෝඩ් කුටියේ’ තැන්පත් කිරීමට නියමිතයි.
















