ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාධිපති ලෙස පත්වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අද (10) මහනුවර ඓතිහාසික පුදබිම් වෙත පැමිණ මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු මහා විහාරය වෙත ගිය නාවික හමුදාධිපතිතුමන්, මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්හ.අනතුරුව ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි නාවික හමුදාධිපතිතුමන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගනු ලැබීය. එහිදී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට ඔහු කටයුතු කළේය.
සංචාරයේ අවසාන අදියර ලෙස අස්ගිරි මහා විහාරය වෙත පැමිණි නාවික හමුදාධිපතිවරයා, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී කෞෂල්‍යා ඕපාත ප්‍රනාන්දු මහත්මිය, නාවික ලේකම් සහ නාවික හමුදාධිපතිගේ ලේකම් කොමදෝරු කුමාර මුණසිංහ, ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් හේමන්ත රණසිංහ ඇතුළු නාවික හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
















