රට තුළ දරුවන්ගේ සුරක්ෂිතභාවය සහ අයිතිවාසිකම් සුරැකීමේ වගකීම දැරෙන ප්‍රධාන පෙළේ ආයතන ද්විත්වයක් වන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා ආරක්ෂක අධිකාරිය වෙත නවක නිලධාරීන් පිරිසක් නිල වශයෙන් බඳවාගනු ලැබ තිබේ. ළමා අපචාර, ආරක්ෂණ ගැටලු සහ සමාජීය අභියෝග ඉහළ යමින් පවතින වටපිටාවක මෙම ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරුණු මෙම බඳවාගැනීම් යටතේ, ඇමතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අදාළ නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
මෙම නව බඳවාගැනීම් යටතේ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්, මනෝ සමාජීය නිලධාරීන් සහ දිස්ත්‍රික් ළමාරක්ෂක නිලධාරීන් යන තනතුරු සඳහා සුදුසුකම් ලත් නිලධාරීන් තෝරාගෙන ඇති අතර, දිවයින පුරා විසිරී සිටින අසරණ වන දරුවන්ට සහ පවුල්වලට අවශ්‍ය කරන මනෝවිද්‍යාත්මක සහාය සහ නීතිමය මැදිහත්වීම් ලබා දීමේදී මෙම තනතුරු ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත. විශේෂයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් පවතින සේවා අවශ්‍යතා සපුරාලීමට සහ ආයතනික ධාරිතාව පුළුල් කිරීමට මෙමගින් ලැබෙනුයේ සුවිශේෂී පිටුබලයකි.
පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ ඇමතිනී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, මෙරට අනාගත පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවයට එක්වන නිලධාරීන්ගේ වගකීම සහ කැපවීම පිළිබඳව අවධාරණය කළාය. ඉදිරියේදී මෙම නිලධාරීන්ගේ සේවය ක්ෂේත්‍ර මට්ටමින් වඩාත් විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම හරහා ළමා ආරක්ෂණ යාන්ත්‍රණය තවත් ශක්තිමත් වනු ඇති බවත්, මෙරට දරුවන් මුහුණ දෙන විවිධ අභියෝගයන්ට කඩිනමින් විසඳුම් ලබා දීමට මෙම නවක බලකායේ දායකත්වය දැඩි ලෙස ඉවහල් වනු ඇති බවත් අපේක්ෂා කෙරේ.















