මඩකලපුව දිස්ත්‍රික්කයේ කළුවාංචිකුඩි තැපැල් කාර්යාලය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තපුර තැපැල් කාර්යාලය යන අලුතින් ඉදිකරන ලද තැපැල් කාර්යාල ගොඩනැගිලි දෙක එළැඹෙන ජූලි 25 වැනි සෙනසුරාදා දින ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ “සමෘද්ධිමත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. රුපියල් මිලියන 60ක ඒකාබද්ධ පිරිවැයකින් ඉදිකර ඇති මෙම ගොඩනැගිලි සඳහා 2025 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 600ක ප්‍රතිපාදනවලින් එක් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් මිලියන 29.5 බැගින් වැය කර තිබේ. දශකයකට පසු මෙරට නව තැපැල් කාර්යාලයක් ඉදිවූ පළමු අවස්ථාව මෙය වන අතර, මේ යටතේ දැනටමත් නව තැපැල් කාර්යාල 5ක් සහ උප තැපැල් කාර්යාල 3ක් ජනතා සේවය සඳහා විවෘත කර ඇත.














