නව විද්‍යාත්මක පර්යේෂණ පොදු ජනතාවගේ ජීවන තත්ත්වය පහසු සහ උසස් කිරීමටත්, ජාතික ආර්ථිකය නංවාලීමටත් සෘජුව දායක කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබේ. පර්යේෂණ සහ සංවර්ධනය ලෝකයේ විශාලතම ආදායම් උපයන රාජ්‍ය බිහිවීමට ඉවහල් වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය වෙනස් වන්නේ පර්යේෂණ සහ සංවර්ධනය මඟින් බවත්, අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැක්කේ එය නිසි ලෙස හඳුනාගන්නා අයට බවත් අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය මඟින් 2026 වසරේදී ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනයට සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මෙම සාකච්ඡාවේදී විවිධ අමාත්‍යාංශ යටතේ පවතින පර්යේෂණ අංශවලට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමේදී විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERDC) යටතේ ක්‍රියාත්මක අලිවැට ඉදිකිරීමේ සහ අඩු වියදම් පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීමේ පර්යේෂණ ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි. මීට අමතරව, විද්‍යාත්මක සොයා ගැනීම් වාණිජ්‍යකරණය සඳහා පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) වැනි ආයතනවලින් ලබා දිය හැකි දායකත්වය සහ රුහුණු විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන හා ආයුර්වේද නිෂ්පාදන සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘතිවල පවතින ගැටලු සාකච්ඡා විය.
ආපදාවලට පෙර සූදානම් වීම සඳහා වන විද්‍යාත්මක මාර්ග සිතියමක් (Road Map) එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, බිම්ස්ටෙක් (BIMSTEC) රටවල් අතර තාක්ෂණ හුවමාරු වැඩසටහනක් සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. එසේම, වනඅලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ආතර් සී. ක්ලාක් ආයතනය AI තාක්ෂණය භාවිත කරමින් වැඩසටහනක් හඳුන්වා දී ඇති බවද සඳහන් විය.














