ගුණාත්මක විද්‍යාවක් සඳහා පදනම සැකසෙන්නේ සමාජයේ සැමට කිසිදු භේදයකින් තොරව සේවය කිරීමට පවතින හැකියාව මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබේ. ඇය මේ බව සඳහන් කළේ අගෝස්තු 05 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හිදී පැවති, “Pera Engineers’ Day Pinnacle 2026” පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථි ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලට එක්වෙමිනි. ඉංජිනේරු පීඨයේ ආදි විද්‍යාර්ථි සංගමයේ (PEFAA) කොළඹ ශාඛාව විසින් මෙම උළෙල සංවිධානය කර තිබිණි.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් හිමිකර ගත් ආයතනයක් වන අතර, මහාමාර්ග, පාලම්, වාරි පද්ධති, බලශක්ති ව්‍යාපෘති, ඩිජිටල් තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර හරහා ශ්‍රී ලංකාව හැඩගැස්වීමට පේරාදෙණි ඉංජිනේරුවන් දැවැන්ත දායකත්වයක් ලබා දී ඇති බවයි. ඉංජිනේරු විද්‍යාව යනු හුදෙක් ව්‍යුහයන් හෝ තාක්ෂණය පමණක් නොව, මිනිසුන්ගේ ජීවිත වඩාත් යහපත් කරමින් මානව වර්ගයාගේ ගැටලු විසඳීම එහි හදවත විය යුතු බවද ඇය අවධාරණය කළාය.
රටක් ගොඩනැඟීම යනු හුදෙක් ආණ්ඩුවක පමණක් වගකීමක් නොවන බවත්, නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන අතරම ඒවා රට ඉදිරියට ගෙන යන වැඩ බවට පත් කරන්නේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ පුරවැසියන් එකතුවෙන් බවත් අගමැතිවරිය පැවසුවාය. විශ්වවිද්‍යාල අලුත් දැනුම උත්පාදනය කරන, පර්යේෂණ සිදුකරන සහ සමාජයට වගකියන මධ්‍යස්ථාන බවට පත්විය යුතු බවත්, ඒ සඳහා රජය විසින් පර්යේෂණ සහ සංවර්ධන (R&D) ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුළු මැති ඇමතිවරුන්, විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා සහ ආදි විද්‍යාර්ථීන් රැසක් සහභාගී වී සිටියහ.














