නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් (Christopher Luxon) සිය නායකත්වයට අභියෝගයක් පවතින බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ පූර්ණ සහයෝගය තමාට හිමි බව අද (17) ප්‍රකාශ කළේය. ලබන සතියේ පාර්ලිමේන්තුව යළි රැස්වන විට පක්ෂයේ ඇතැම් පිරිස් නායකත්වය වෙනස් කිරීමට උත්සාහ කරනු ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ලබන සතියේදී ලක්සන්ට එරෙහිව සිය පක්ෂයේම පිරිසක් නැගී සිටීමට සූදානම් වන බවට ‘New Zealand Herald’ පුවත්පත වාර්තා කර තිබුණද, ඔහු පවසන්නේ තමාට මන්ත්‍රී කණ්ඩායම පිළිබඳ පූර්ණ විශ්වාසයක් පවතින බවයි.
මෑතකදී සිදු කළ මත විමසුම්වලට අනුව අගමැතිවරයාගේ පෞද්ගලික ජනප්‍රියතාවය පහත වැටී ඇති අතර, පාලක සන්ධානය කෙරෙහි පවතින මහජන ප්‍රසාදය ද 30% මට්ටමට වඩා අඩු වී තිබේ. මාර්තු මාසයේ පැවති සමීක්ෂණයකට අනුව 20.7% ක පිරිසක් විපක්ෂ නායක ක්‍රිස් හිප්කින්ස්ට මනාපය පළ කර ඇති අතර, ලක්සන්ට හිමිව ඇත්තේ 17.3% ක මනාපයකි.
නවසීලන්තයේ මීළඟ මහා මැතිවරණය ලබන නොවැම්බර් 7 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ වත්මන් රජයට යළි බලයට පත්වීම අභියෝගයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
තමාගේ නායකත්වය යටතේ අද දිනයේ මැතිවරණයක් පැවැත්වුවද වත්මන් රජය යළි පිහිටුවීමට හැකි බව අගමැති ලක්සන් වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.














