කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ නඩුවේදී, ඔහු වෙනුවෙන් ඇප තැබූ පුද්ගලයන් යැයි පවසමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි පුද්ගලයන් දෙදෙනෙකු බව මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසනවා. පසුගිය මැයි 19 වන දින මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, එය බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි ඔහු චෝදනා කරන්නේ.
පොලිසිය විසින් මුදලට ඇප තැබුවේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සාංචි වත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන පුද්ගලයන් දෙදෙනායි. කෙසේ වෙතත්, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීම සඳහා අත්සන් කර ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාට අයත් ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරීන් වන රොහාන් චමිල් අමරදාස සහ පෙරුමාල් ගණේෂ් යන සුදුසුකම් සපුරාලූ පුද්ගලයන් දෙදෙනෙකු බව මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පෙන්වා දෙනවා.
මෙම සිද්ධිය පදනම් කරගනිමින්, ඇප තැබීමට නුසුදුසු පුද්ගලයන් යෙදවූ බවට චෝදනා කරමින් කපිල චන්ද්‍රසේන මහතාව නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීම දේශපාලනමය කුමන්ත්‍රණයක් බවත්, මෙය මිනීමැරුමක් සැඟවීමට දරන උත්සාහයක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටිනවා.














