අමෙරිකා එක්සත් ජනපදය ඉරානය සමඟ එක්කෝ සාර්ථක හා යහපත් රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට එළඹෙනු ඇති බවත්, නැතහොත් එම ගැටලුව “වෙනත් විකල්ප ක්‍රමයකින්” (another way) විසඳීමට පියවර ගන්නා බවත් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) මහතා දැඩි ස්වරූපයෙන් ප්‍රකාශ කර තිබේ.
නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය ලේකම්වරයා, එහිදී මාධ්‍යවේදීන් අමතමින් අද (25) උදෑසන මේ බව කියා සිටියේය.
එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉරානය සමඟ පවතින මැදපෙරදිග යුදමය හා ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා වෙනත් දැඩි විකල්ප (alternatives) වෙත යොමු වීමට ප්‍රථම, රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා (diplomacy) සාර්ථක කරගැනීමට අමෙරිකාව උපරිම වශයෙන් අවස්ථාව ලබා දෙන බවයි. කෙසේ වුවද, හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පාලනය කිරීම සම්බන්ධයෙන් දැනට පවතින තීරණාත්මක සාකච්ඡා අසාර්ථක වුවහොත්, අමෙරිකාව සහ එහි මිත්‍ර පාර්ශවයන් වෙනත් දැඩි ක්‍රියාමාර්ග සඳහා සූදානම්ව සිටින බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වක්‍රව අඟවා තිබේ. දැනට දින කිහිපයක සිට පකිස්ථානයේ මැදිහත් වීමෙන් අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාම ගිවිසුමක් සඳහා වන සාකච්ඡා අවසන් අදියරේ පවතින පසුබිමක රූබියෝ මහතාගෙන් මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
















