මැලේසියානු රාජ්‍ය බලශක්ති සමාගමක් වන පෙට්‍රොනාස් (Petronas) සමාගම මඟින් ක්‍රියාත්මක කරනු ලබන මුහුදේ පාවෙන ගබඩා සහ පිරිපහදු යාත්‍රාවක (Floating Storage and Offloading – FSO) ඊයේ (24) සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.පෙට්‍රොනාස් (Petroliam Nasional Berhad) සමාගම අද (25) නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ, මැලේසියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් පිහිටි ටෙරෙන්ගානු (Terengganu) ප්‍රාන්තයේ “FSO Sepat” නමැති මුහුදු යාත්‍රාව තුළ ඊයේ දහවල් 12:50ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි. යාත්‍රාවේ තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුවක (Lifeboat) අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරමින් සිටි අවස්ථාවකදී මෙම අනපේක්ෂිත අනතුර සිදුව ඇත.අනතුරට ලක්වූ සේවකයන් සිව්දෙනා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණද, ඉන් තිදෙනෙකුම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර තිබේ. අනතුරින් තුවාල ලැබූ අනෙක් සේවකයා මේ වන විට දැඩි වෛද්‍ය නිරීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.මැලේසියාවේ බර්නාමා (Bernama) රාජ්‍ය පුවත් ඒජන්සිය දේශීය පොලීසිය උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, අදාළ සේවකයන් පිරිස නඩත්තු කටයුතු සඳහා ජීවිතාරක්ෂක බෝට්ටුවට නැඟී එය මුහුදට පහත් කිරීමට උත්සාහ කර ඇති බවයි. එහිදී බෝට්ටුව රඳවා තිබූ ප්‍රධාන කේබල් ලණුව හෝ කොක්ක (Rope or hook) එකවරම ගිලිහී යාම හේතුවෙන් බෝට්ටුව සමඟම සේවකයන් පිරිස මුහුදට ඇද වැටී ඇති බවට මූලිකව සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු බලධාරීන් සමඟ එක්ව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරන බව පෙට්‍රොනාස් සමාගම පවසයි.














