ස්පාඤ්ඤයේ පාලක සමාජවාදී පක්ෂයේ (PSOE) මූලස්ථානයට අද (27) පොලිසිය විසින් ඇතුළු වී ලේඛන පරීක්ෂා කර තිබේ. ඒ, එම පක්ෂයට හෝ රජයට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග අඩපණ කිරීමට උත්සාහ කළ බවට සැකපිට පවත්වනු ලබන පරීක්ෂණයක කොටසක් ලෙසිනි.
මෙම විමර්ශනය මගින් අපරාධ සංවිධානයකට සම්බන්ධ වීම, අල්ලස් ගැනීම, රහස් හෙළි කිරීම, ව්‍යාජ සාක්ෂි දීමට පෙළඹවීම, ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ බලපෑම් කිරීම ඇතුළු බරපතළ චෝදනා කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. මෙම පරීක්ෂණ ඉලක්ක කර ඇත්තේ පක්ෂයේ හිටපු නිලධාරියෙකු සහ ඔහුගේ ආශ්‍රිතයන් පිරිසකි.
රෝමයේදී පාප් වහන්සේ හමුවීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් මහතා සඳහන් කළේ, පොලිසිය විසින් පක්ෂ මූලස්ථානයෙන් ලේඛන ඉල්ලා සිටීම “වැටලීමක්” නොවන බවත්, පක්ෂය අධිකරණයේ කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවත්ය. විනිසුරු සැන්ටියාගෝ පෙඩ්‍රාස් විසින් ලබා දුන් අධිකරණ නියෝගයකට අනුව, පක්ෂයේ මූලස්ථානයේ ඇති විශේෂිත ලේඛන සහ ඉලෙක්ට්‍රොනික ගොනු ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.
















