2027 මහා මැතිවරණයට පෙර රට තුළ බෙදීම් ඇති කරන අන්තර්ගතයන් පාලනය කිරීම සඳහා නයිජීරියාවේ විකාශන නියාමන ආයතනය විසින් ගුවන් විදුලි සහ රූපවාහිනී නිවේදකයින්ට නව දැඩි නීති පනවා තිබේ. අප්‍රිකාවේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන නයිජීරියාවේ මීළඟ මැතිවරණය 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත අතර, පසුගිය මැතිවරණ සමයන්හිදී වාර්තා වූ වැරදි තොරතුරු ප්‍රචාරය වීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
නයිජීරියාවේ ජාතික විකාශන කොමිසම (NBC) නිකුත් කළ නිවේදනයකට අනුව, නිවේදකයින්ට සජීවී වැඩසටහන් අතරතුර සිය පෞද්ගලික මතයන් ප්‍රකාශ කිරීම, සම්මුඛ සාකච්ඡා සඳහා පැමිණෙන අමුත්තන්ට බලපෑම් කිරීම හෝ බිය ගැන්වීම මෙන්ම දේශපාලනික වශයෙන් බෙදීම් ඇති කරන කරුණු ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත. පෞද්ගලික අදහස් සත්‍ය කරුණු ලෙස ඉදිරිපත් කිරීම සහ විරුද්ධ මතධාරීන්ට සාධාරණ කාලයක් ලබා නොදීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට ද එම ආයතනය අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, මෙම තීරණය විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල සහ මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක්ව ඇත. මෙය මාධ්‍ය මර්දනය කිරීමේ සහ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අවකාශය සීමා කිරීමේ උත්සාහයක් බව හිටපු උප ජනාධිපති අතීකු අබුබකර් (Atiku Abubakar) ඇතුළු පිරිස් පෙන්වා දෙති. එහෙත්, මෑතකාලීනව විකාශන කේතයන් උල්ලංඝනය කිරීම් ඉහළ ගොස් ඇති බැවින් ජාතික සමගිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව රජයේ ස්ථාවරය වී තිබේ.












