නිකිණි පුර පසලොස්වක පොහෝ දිනය වැනි ආගමික උත්සව අවස්ථාවන්හිදී මෙන්ම දෛනිකව මෙරට නිවෙස්වල සහ විහාරස්ථානවල දැල්වෙන හඳුන්කූරු සහ සුවඳ දුම් හරහා නිකුත් වන දුමාරය මිනිස් සිරුරට සහ පෙනහළුවලට ඉතා හානිකර මාරාන්තික රසායනික ආයුධයක් බවට විද්‍යාත්මක පර්යේෂණ මඟින් අනාවරණය කර තිබේ. වාර්ෂිකව හඳුන්කූරු මිලියන 600කට අධික ප්‍රමාණයක් පරිභෝජනය කෙරෙන ශ්‍රී ලංකාව තුළ, මින් සියයට 40ක්ම කිසිදු ප්‍රමිතිකරණයකින් තොරව ආනයනය කරනු ලබන අතර, දේශීයව නිෂ්පාදනය කෙරෙන බහුතරයක් සඳහා ද කෘත්‍රිම සුවඳකාරක හා රසායනික ද්‍රව්‍ය යොදාගනු ලබයි.
සිගරට්ටුවක් දහනය වීමේදී මුදා හරින අංශු ප්‍රමාණය මෙන් සිව්ගුණයක් ඉක්මවූ අතිවිශාල අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණයක් හඳුන්කූරු දහනයෙන් වාතයට මුදා හැරෙන අතර, එහි අඩංගු PM2.5 සහ PM0.1 වැනි අතික්ෂුද්‍ර අංශු සිරුරේ ස්වභාවික පෙරහන් මඟහැර පෙනහළුවල ගැඹුරුම ගර්ත වෙත ගොස් සෘජුවම රුධිර සංසරණ පද්ධතියට එක්වීමේ දැඩි අවදානමක් පවතී. මීට අමතරව, හඳුන්කූරු වර්ණ ගැන්වීම සඳහා යොදාගන්නා සහ ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ නියෝජිතායතනය මඟින් පිළිකාකාරකයක් ලෙස නම් කර ඇති ‘ඔරමයින් O’ (Auramine O) නම් රසායනිකය දහනයේදී විනාශ නොවී වාතයට මුදා හැරීම හේතුවෙන්, පෙනහළු පිළිකා සෛල ශරීරය පුරා ආක්‍රමණශීලී ලෙස පැතිරී යාම වේගවත් කරන බව විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
මෙම තත්ත්වය හමුවේ පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ මහජන යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා ආනයනික හා දේශීය හඳුන්කූරු නිෂ්පාදනවල ප්‍රමිතිය දැඩි ලෙස නියාමනය කිරීමේ ආයතනික වගකීමක් මතුව ඇත. පාරිභෝගිකයින් දැනුවත් කිරීම මෙන්ම විද්‍යාත්මක යථාර්ථයන් පදනම් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහොත්, අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ ශ්වසන ආබාධ සහ පෙනහළුගත පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සහ විශේෂඥයෝ දැඩි ලෙස අනතුරු අඟවති.
















