ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) පාඨමාලා හදාරන සිසුන්ට දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලය (Changshin University) වෙත ගොස් උසස් අධ්‍යාපනය ලැබීමට සහ අධ්‍යාපනයෙන් පසු රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි නව වැඩසටහනක් ආරම්භ කර ඇත.
කම්කරු අමාත්‍යාංශයේදී NIOSH නිලධාරීන් සහ චැංෂින් විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් වන චැංෂින් විශ්වවිද්‍යාලයේදී සිසුන්ට සහනදායී ගාස්තු යටතේ (මූලික වශයෙන් 50%ක වට්ටුවක් හෝ දක්ෂතා මත 100%ක් දක්වා නිදහස් කිරීම් සහිතව) උපාධි මට්ටම දක්වා ඉගෙනුම ලැබිය හැක. අධ්‍යාපනය ලබන අතරතුර අර්ධකාලීන රැකියාවල නිරත වීමටත්, උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු දකුණු කොරියාවේ ස්ථිර රැකියා ලබා ගැනීමටත් මෙහිදී සිසුන්ට අවස්ථාව හිමිවේ. ඉදිරි මාසයක කාලය තුළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු මේ සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.













