රුපියල් ලක්ෂ 25ක මුදලකට වාලම්පුරියක් හෙවත් Triton trumpet එකක් අලෙවි කිරීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු නිට්ටඹුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු වෙත ලැබුණු තොරතුරක් මත පසුගිය 25 වැනිදා සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ ලබන ඔක්තෝබර් 2 වැනිදා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම වැටලීම හොරගොල්ල ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු පී.ඒ.එස්.යූ. බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වනසත්ත්ව අඩවි සහකාර ආර්.එම්.පී. විජේසිංහ, වනජීවී නියාමකවරුන් වන පී.සී. සංජීවනී සහ එල්.පී.වයි. නවාංජන ස්වේච්ඡා මාර්ගෝපදේශක චින්තක සමරවීර යන නිලධාරීන් විසින් සිදුකර ඇත.
















