27 April 2024
#දේශීය

තවදුරටත් චාටු කතා එපා – විපක්ෂ නායක සජිත්

රජය මෙන් ම ඇතැම් පක්ෂ දේශපාලන වේදිකාවේ, සම්මන්ත්‍රණවල දී, මාධ්‍ය හමුවල දී විවිධ විවිධ වහසිබස් දෙඩුවත් අවසානයේ ඒවා කතාවලට පමණක් සීමා වී ක්‍රියාවක් සිදුව නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (15) සමගි විහිදුම් බලගණයේ කළුතර දිස්ත්‍රික් බලමුළුව අමතමිනි.

බංකොලොත් වූ අප රටේ ලක්ෂ 220ක් වූ ජනතාව පාලකයන්ගෙන් තම ප්‍රශ්නවලට විසදුම් ඉල්ලා සිටියත් වත්මන් රජය ඒ ප්‍රශ්නවලට කිසිදු විසදුමක් මේ වන විටත් ඉදිරිපත් කර නැති බව හෙතෙම පැවසිය.

ජනතාවගේ ප්‍රශ්න විසදීමට නම් මුදල්, සම්පත්, විදේශ විනිමය අවශ්‍ය වුවත් ජනතාව ඉල්ලා සිටින ඉල්ලීම්වලට සැපයුම් ලබා දීමට වත්මන් රජයට නොහැකි වී ඇති බවත් ඔවුන් වැඩබැරි පුද්ගලයන් නිසා ආණ්ඩුවට එක්වීමට විවිධ අවස්ථාවල ඉල්ලීම් ඉදිරිපත් වුවත් ප්‍රතිපත්තිගරුකව එය ප්‍රතික්ෂේප කළ බවත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය වී ඇත්තේ රසවත්, හරබර, විනෝදකාමී කතා කියන පුද්ගලයන්ට වඩා ප්‍රායෝගික ක්‍රමයට ජනතාවට සේවය කරන පුද්ගලයකු බවත් විපක්ෂනායකවරයා කියා සිටියේය.

එසේ ම උනුත් එකයි මුනුත් එකයි කියන පුද්ගලයන් 2015 දී සුනාමි ආධාරා සොරා කෑ පුද්ගලයා රටේ පාලකයා කිරීමට උපකාර කළ බවත් එය කිසිදු දිනෙක අමතක නොවන බවත් තමා රාජ්‍ය බලය නොමැතිව වුව ජනතාවට සේවය කරන විට ඒ සදහා අපහාස උපහාස කරන අයට කියා සිටින්නේ පුළුවන් නම් තමා සමඟ බලයක් නොමැතිව වුව ජනතාවට තරගයට සේවය කිරීමට පැමිණෙන ලෙස ද විපක්ෂ නායකවරයා එහි දී කියා සිටියේය.

තමා ක්‍රීඩා කිරීමත්, ඉංග්‍රීසි භාෂාව හැසිරවීමත් නිසා අපහාස කරන පුද්ගලයන් එය අල්ලා ගෙන විවිධ කතා පතුරවන බවත් ඔවුන්ට කියා සිටින්නේ තමා කරන සේවය සම්බන්ධයෙන් ඊර්ෂයා නොකර අපහාස නොකර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හැමෝම එකතු වී රටට අවශ්‍ය ඩොලර් සෙවීමට එන ලෙස ද ඉල්ලා සිටියේය.

තව ද ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දීම කටවචනයට වඩා ක්‍රියාවෙන් සිදු කළ හැක්කේ කාටද කියා ජනතාව බුද්ධියෙන් තීරණය කළ යුතු බවත් එම නිසා තමාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීමට අපහාස නොකර ජනතාවට බරක් නොවී සේවය කරන ලෙස කියා සිටි ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ තමා ඇතුළු පිරිසට දේශපාලන බලය ජනතාව විසින් ලබා දෙන්නේ නම් ලෝකයට බරක් නොමැතිව ජීවත් වීමට අවැසි පරිසරය නිර්මාණය කරන බවය.

අප රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ ඩොලර් යුරෝ පවුම් බවත් ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් 74 වසරක ඉතිහාසය තුළ මේ රටේ විපක්ෂයක් සිදු නොකළ වැඩ කොටසක් වත්මන් විපක්ෂය සිදු කළ බැවින් ජනතාව ඒ ගැන බුද්ධියෙන් සිතා ඉදිරි මැතිවරණයේ දී තීරණයක් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *