27 April 2024
#දේශීය

ඔක්සිජන් නැතිව කිසිදු රෝගියෙකුට මියැදෙන්න ඉඩ දෙන්නේ නෑ – ඇමති කෙහෙලිය

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙරට දෛනික ඔක්සිජන් අවශ්‍යතාව මේ වන විට ඉහළ ගොස් ඇතැයිද ඒ අනුව මේ වන විට අවශ්‍ය ඔක්සිජන් ලබාගැනීමට මූලික අවධානයක් යොමුව ඇතැයිද අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ”නියෝජිතයන් සමඟ සූම් තාත්ෂණය ඔස්සේ සාකච්ඡාවකට ඊයේ (30) පස්වරුවේ එක්වෙමිනි.

මෙරටට ඔක්සිජන් ලබා දීමේදී ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශයේ සහයෝගයද අතිශය වැදගත් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලැබෙනු ඇති බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා මෙහිදී කීය.

අද වන විට මෙරට කොවිඩ් මර්දනය උදෙසා රටවල් රැසක සහයෝගය ලැබෙමින් පවතින බවද ඒ වෙනුවෙන් ප්‍රණාමය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය.මේ මොහොතේ මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මූලික අවධානය ලබා දෙන අතරම ඒ උදෙසා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට රජය ප්‍රමුඛව කටයුතු කරන බවද හෙතෙම කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සම්බන්ධයෙන් වන ගැටලුව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද එම වාර්තාවට අනුව ඉදිරියේදී නිල වාර්තාවක් ඉදිරිපත් කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා ඖෂධ නිෂ්පාදන,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ශ්‍රී ලංකා ජර්මානු නියේජ්‍ය තානාපති (Oliver Malchow) , ශ්‍රී ලංකා ජර්මානු කර්මාන්ත හා වාණිජ අංශ ප්‍රධානී (Andreas Hergenroether),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදන,සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත යන මහත්වරු සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *