27 April 2024
#සංවර්ධන

නොච්චියාගම ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය ජනතා අයිතියට

නොච්චියාගම මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කර, ඩිජිටල් හා ස්වක්‍රීය දිස්ත්‍රික්ක ආදර්ශ මහජන පුස්තකාලය නමින් ජනතා අයිතියට පැවරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (29) දින සිදු කෙරිණි.

මේ සඳහා ජාතික පුස්තකාල හා ප්‍රෙල්කන මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, අන්තර්ජාතික සංනිවේදන තාක්ෂණ ආයතනය යන ආයතන අනුග්‍රහ දක්වා ඇත. ලංකාව පුරා මෙවැනි ඩිජිටල් පුස්තකාල 25 ක් පිහිටුවා ඇති අතර ඒවා සියල්ල ජාල ගත කර ඇත.

යම් පාඨකයෙකුට කියවීම සදහා පොතක් අවශ්‍ය නම් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ට අවශ්‍ය පොත ඇතිදැයි දැන ගැනීමේ හැකියාව පවතියි. පොත් බැහැර ගෙන යෑමේ දී පැරණි කාඩ් ක්‍රමය වෙනුවට ඩිජිටල් කාඩ් පතක් මෙහිදී භාවිතා කෙරේ. මෙහි පොත් 13000 අධික ප්‍රමාණයක් ඇති අතර ඉන් පොත් 850ක් පමණ පරිගණක ගත කර ඇති අතර යම් දෘශ්‍යාබාධිත අයෙකුට මෙහි තිබෙන පොත් වලට සවන් දීමේ පහසුකම් සපයා ඇත. බ්‍රේල් ක්‍රමයට පොත්වල විස්තර සපයා ඇති අතර ඉන් තමන්ට අවශ්‍ය පොත් තෝරා ගෙන පරිගණකය හරහා ඊට සවන් දීම කළ හැකිය. මීට අමතරව කුඩා දරු දැරියන්ට ද මෙහි පුස්තකාලයක් පිහිටුවා ඇත. පෙර පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම සඳහා ශ්‍රී ජවර්ධනපුර විශ්ව විද්‍යාල හා එක්ව “ෆන් පෝ ඉංග්‍රීසි“ වැඩසටහන මෙහිදී ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව රජරට විශ්වවිද්‍යාලය හා එක්ව රොබෝ තාක්ෂණය භාවිතා කර පරිගණක අධ්‍යයන වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අභයලක්ෂ්මී හේවාපතිරණ, ආණ්ඩුකාර ලේකම් සුජන්ත ඒකනායක, පළාත් පාලන කොමසාරිස් එන්.එච්.ආර්. නිශාන්ත, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මවර්ධන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ උතුරු මැද පළාත් සම්බන්ධ කාරක පද්මසිරි සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පාසල් දරුදැරියන් ද එක් වූහ

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *