කිසිදු දේශපාලන පක්ෂයක මැදිහත්වීමකින් තොරව, මෙරට ප්‍රධානතම ආහාර නිෂ්පාදකයින් විසින් සංවිධානය කළ සුවිශේෂී මැයි දින රැලියක් අද (01) කැකිරාව නගරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද මෙම රැලිය සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21ක් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
කැකිරාව කුඹුක් සෙවණ ආසන්නයෙන් ආරම්භ වූ මෙම මැයි දින පෙළපාලිය, දඹුල්ල – අනුරාධපුර ප්‍රධාන මාර්ගය ඔස්සේ කැකිරාව මහජන ක්‍රීඩාංගනය වෙත ගමන් කළේය. එහිදී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ සභාපති ටෙරන්ස් ගාමිණී මහතා අවධාරණය කළේ, දශක හතරකට අධික කාලයක් ක්‍රියාත්මක වූ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආහාර නිෂ්පාදනය කරන ජනතාව මේ වන විට දැඩි ණය බරකින් පීඩා විඳින බවයි. පටු දේශපාලනයෙන් ඔබ්බට ගිය, සැබෑ ජනතාවාදී ක්‍රම වෙනසක අවශ්‍යතාවය ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම රැලිය හරහා වන අලි තර්ජනය, ඉඩම් ගැටලු, පොහොර අර්බුදය සහ කෘෂි නිෂ්පාදන සඳහා නිසි මිලක් නොලැබීම වැනි ප්‍රධාන ගැටලුවලට කඩිනම් විසඳුම් ඉල්ලා සිටි අතර, “2026 මැයි දින ප්‍රකාශනය” මගින් සිය ඉල්ලීම් ඇතුළත් යෝජනා 14ක් ද රජයට ඉදිරිපත් කිරීමට ඔවුහු පියවර ගත්හ.














