නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා මෙරටට පැමිණෙමින් පවතින බව බලාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. හදිසි ටෙන්ඩර් යටතේ ලබාගත් ඇණවුම් මෙන්ම මීට පෙර ලැබීමට තිබූ හිඟ තොග ද මේ වන විට ලැබෙමින් පවතී.
ඉන්දීය ‘තරන්ජොට්’ සමාගමෙන් හදිසි ටෙන්ඩර් යටතේ ඇණවුම් කරන ලද 17 වන නෞකාව පසුගිය සිකුරාදා (01) සිට ගොඩබෑම ආරම්භ කර ඇත. මීට අමතරව ට්‍රයිඩන්ට් චෙම්ෆාර් සමාගමට අයත් නෞකාවක් ද ජෙටියෙන් පිටත නැංගුරම් ලා ඇති අතර, එම සමාගමේ මීළඟ නෞකාව මැයි 12 වනදා මෙරටට ළඟා වීමට නියමිතය.
ට්‍රයිඩන්ට් සමාගම විසින් ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද 16 වන ගල්අඟුරු නෞකාවේ තොග ද ප්‍රමිතියෙන් තොර බවට තොරතුරු අනාවරණය වී තිබේ. ‘කොටෙක්නා’ (Cotecna) නැමති ස්වාධීන පරීක්ෂණ ආයතනය මගින් සිදුකළ පරීක්ෂණවලට අනුව, එම සමාගම මෙතෙක් සැපයූ තොග අතරින් නෞකා පහක ගල්අඟුරු නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව තහවුරු වී ඇත.
මුහුදේ පවතින රළු ස්වභාවය සහ රළ මට්ටම ඉහළ යාම හේතුවෙන් ගල්අඟුරු ගොඩබෑමේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. සාමාන්‍යයෙන් දින පහකින් අවසන් කළ හැකි ගොඩබෑමේ කටයුතු සඳහා පවතින තත්ත්වය හමුවේ දින අටක් වැනි වැඩි කාලයක් වැය වන බව බලධාරීහු පවසති.














