උතුරු කොරියාවේ ආරක්ෂාව සහ “සැබෑ සාමය” සහතික කළ හැක්කේ ඕනෑම තර්ජනයක් පාලනය කළ හැකි ප්‍රබල හමුදාවක් ගොඩනැඟීමෙන් පමණක් බව පවසමින්, එරට න්‍යෂ්ටික බලකාය “ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව” (quantitatively and qualitatively) ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව එරට නිල පුවත් සේවය වන KCNA වාර්තා කරයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැති පාලක බලකල කම්කරු පක්ෂයේ මධ්‍යම මිලිටරි කොමිසමේ (Central Military Commission) විශේෂ රැස්වීමකදී මෙම තීරණ ගෙන තිබේ. මෙහිදී සන්නද්ධ බලකායන් නවීකරණය කිරීමේ අවශ්‍යතාව නායකයා දැඩි ලෙස අවධාරණය කර ඇත.
මෙම හමුවේදී සටන්කාමී පද්ධතිවල තාක්ෂණික යටිතල පහසුකම් අලුත් කිරීම, න්‍යෂ්ටික බලකාය පුළුල් කිරීම මෙන්ම මිලිටරි කඳවුරු ප්‍රමිතිකරණය සහ නවීකරණය කිරීම සඳහා වන සැලසුම් සකස් කර තිබේ. මීට අමතරව, උතුරු කොරියාවේ මිලිටරි බුද්ධි ඒජන්සිය (Reconnaissance General Bureau) සතු ඔත්තු බැලීමේ සහ තොරතුරු රැස්කිරීමේ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම එරට නාවික හමුදාවේ භූමිකාව වෙනස් කරමින් නවීන නාවික කඳවුරු ඉදිකිරීම සහ නැව් තටාකවල ධාරිතාව ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















