නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනා ලබන සැප්තැම්බර් 08 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කර තිබේ.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව කටයුතු කළ ක්‍රිෂ්ණමූර්ති ලලිතා (31) සහ විශ්වනාදන් තුෂාදරණි (32) යන අය මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. සැකකාරිනියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ඔවුන්ගෙන් අයෙකු ගැබිනි කාන්තාවක් වීම ඇතුළු සෞඛ්‍ය තත්ත්වය සලකා ඕනෑම ඇප කොන්දේසියක් යටතේ මුදාහරින ලෙස ඉල්ලා සිටියද, හැටන් කොට්ඨාස විමර්ශන ඒකකයේ නිලධාරීන් අධිකරණයට දැන්වූයේ වංචා කළ මුදල රුපියල් ලක්ෂ 250 ඉක්මවා ඇති බවත්, කාර්යාලීය විගණනය තවම අවසන් වී නොමැති බැවින් සැකකාරිනියන්ට ඇප ලබා දීමට විරුද්ධ වන බවත්ය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති අතර, ගිණුම් මුදල් බැර නොවූ ප්‍රතිලාභීන් පිරිසක් මීට පෙර තම ගිණුම් පරීක්ෂා කරගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ දිගු පෝලිම්වල රැඳී සිටි බවද වාර්තා වේ.














