ජාතික ජන බලවේගය දිගටම බලයේ සිටීමේ අධිෂ්ඨානයක සිට කටයුතු කරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසකට නව පත්වීම් ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“අපි අධිෂ්ඨානයක ඉන්නවා අපි දිගටම බලයේ ඉන්නවා කියලා. දැන් අපි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා, ඇමැතිවරුන්ට නිල නිවාස අහෝසි කළා, පාර්ලිමේන්තුවේ ආහාර වේල සඳහා පැවැති රුපියල් 125ක මිල රුපියල් 2000ක් දක්වා වැඩි කළා. රුපියල් 125ට දවසම ආහාර ලබා ගැනීම තුළ යම් නරකක් තිබෙනවා, එය නිමල් සිරිපාල වැනි ඇමැතිවරුන් දෙස බැලූ විට පෙනෙනවා.”පොහොර සහනාධාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අපි එනකොට පොහොර සහනාධාරයක් තිබ්බා හෙක්ටයාර් දෙකකට රුපියල් 30,000ක් ලෙස. දැන් අපි එය රුපියල් 60,000ක් දක්වා වැඩි කර තිබෙනවා. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි කියා. ලෝක තත්ත්වයන් හමුවේ ඒවා මිල ඉහළ යාම ස්වාභාවිකයි. නමුත් රුපියල් 30,000 තිබූ සහනාධාරය 60,000 දක්වා වැඩි කිරීම බොහෝ දෙනාට නොපෙනෙන අතර, පේන්නේ පවතින යුද වාතාවරණය හමුවේ පොහොර මිල වැඩි වීම පමණයි,” යනුවෙන් පැවසීය.
















