නිවාස ඉදිකර දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචා කළ නුගේගොඩ ප්‍රදේශයේ ආයතනයක පුද්ගලයෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 8 වනදා අත්අඩංගුවට ගෙන ඇත.
රාගම ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි මෙම සැකකරු, නිවාස ඉදිකිරීමේ පොරොන්දුව මත එක් අයෙකුගෙන් රුපියල් 20,000ත් 30,000ත් අතර මුදලක් බැගින් ලබාගෙන ඇත. මේ වන විටත් සැකකරුට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි 10ක් ලැබී ඇති අතර, සැකකරු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම මහා පරිමාණ වංචාවට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මෙම වංචාවට ගොදුරු වූ වෙනත් වින්දිතයන් සිටී නම්, වහාම මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන ලෙස හෝ 011-2852556 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවනු ලබයි.
















