ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය ක්‍රියාත්මක කරන සචිත් අකලංක නොහොත් ‘කොස් මල්ලි’ නමැති ජාවාරම්කරුගේ මෙරට ප්‍රධානතම මෙහෙයුම්කරු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් සහ පොලිස් කණ්ඩායම් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී සමත්ව තිබේ.
විශේෂ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ ගණනක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 900ක් සහ ‘අයිස්’ (ICE) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිස් විමර්ශන නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී, ඩුබායි හි සිට ක්‍රියාත්මක වන මෙම මත්ද්‍රව්‍ය ජාලයේ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ප්‍රධාන සැකකරු වන ‘කොස් මල්ලි’ නමැත්තා ලංකාවේ නීතියෙන් බේරීම සඳහා ‘දුමිත් නලින්’ යන ව්‍යාජ නමින් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් (Passport) භාවිත කරමින් මීට පෙර ඩුබායි රාජ්‍යයට පළා ගොස් ඇති බවයි. ඔහු එහි සිට තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ මෙරට සිටින සිය ගෝලයන් ලවා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව සහ සූක්ෂ්ම ලෙස මෙහෙයවා ඇති බව ද පොලිසිය පවසයි.
ව්‍යාජ අනන්‍යතාවයකින් විදේශගතව සිටින මෙම ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ඇතිව රතු නිවේදන (Red Notice) නිකුත් කරමින් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් සිටී. මෙම සමස්ත මත්ද්‍රව්‍ය ජාලයම මෙරටින් මුලිනුපුටා දැමීම සඳහා විශේෂ ඒකාබද්ධ විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
















