පියාගෙන් චෝදනා
නුවරඑළිය ග්‍රෙගරි වැවේදී පසුගිය 16 වැනි දින සිදු වූ ජෙට්ස්කී යාත්‍රා අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අනතුරට පත් දරුවන් දෙදෙනාගේ පියා නගරාධිපතිවරයාගෙන් ලිඛිතව සහ දුරකථනයෙන් ඉල්ලා තිබේ.
ජා-ඇළ ප්‍රදේශයේ සිට නුවරඑළිය සංචාරයක් සඳහා පැමිණි ධනුෂ්ක සඳරුවන් මහතාගේ 12 සහ 13 වියැති දියණියන් දෙදෙනා, රුපියල් 6,500ක මුදලක් ගෙවා නාලක නම් බෝට්ටුකරුගේ ජෙට්ස්කී යාත්‍රාවක සවාරියක් ගොස් ඇත. යාත්‍රාව වැව මැද නතර වූ අවස්ථාවේ එය පැදවූ කසුන් නැමැත්තා ගොඩබිමේ සිටි අනෙක් බෝට්ටුකරුවන්ගේ සහයෝගය ඉල්ලා සිටියද, කිසිවෙක් ඉදිරිපත් වී නැත. ටික වේලාවක් වැවේ පාවෙමින් තිබූ යාත්‍රාව පසුව පෙරළී ගොස් ඇති අතර, එහිදී ග්‍රෙගරි වැවේ ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී දරුවන් දෙදෙනා සහ බෝට්ටුව පැදවූ තැනැත්තා බේරාගෙන තිබේ. දරුවන් පැළඳ සිටි ජීවිතාරක්ෂක කබා නිසා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇත.
අනතුර සම්බන්ධයෙන් ලද පැමිණිල්ල මත විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපති උපාලි වනිගසේකර මහතා නාගරික කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී ඇත.
ග්‍රෙගරි වැවේ ලියාපදිංචි බෝට්ටු සංඛ්‍යාව 115ක් වුවද, මේ වන විට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බෝට්ටු 15ක් පමණ සංචාරකයන් රැගෙන යාමට එක් කර ඇති බවත්, සේවය නිසි පරිදි විධිමත් නොවීම නිසා මෙවැනි අනතුරු සිදුවන බවත් බෝට්ටු සේවා හිමිකරුවෙක් පවසා තිබේ. අනතුරට මුහුණදුන් දරුවන්ගේ පියා ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා, ප්‍රමිතියෙන් තොර බෝට්ටු සේවා වැවෙන් ඉවත් කර සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.
















