27 April 2024
#දේශීය

NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් 3000 ක් බඳවා ගැනීමේ වැඩසටහනක්

කර්මාන්තගත ආධුනිකත්ව පුහුණු ක්‍රමවේදය යටතේ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයන් 3000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහනක් 2023 වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි රැකියා විරහිත තරුණ තරුණියන් පුහුණුව සඳහා බඳවා ගැනීම් සිදු කරන අතර ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කිරීම තුළින් දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කෙරේ.

ක්ෂේත්‍ර සහකාර (කෘෂිකාර්මික), සාත්තු සේවක, ඇළුමිනියම් පිරිසැකසුම් ශිල්පී, මෝටර් රථ සේවා සහ අභ්‍යන්තර පවිත්‍රකරු, ජලනල කාර්මික, විදුලි කාර්මික (ගෘහස්ත), පෑස්සුම්කරු, සූර්ය බල තාපක ස්ථාපක, ජංගම දුරකථන අළුත්වැඩියා කිරීමේ කාර්මික ශිල්පී සහ භෝජනාගාර සේවක ලෙස තෝරා ගත් පාඨමාලා 10 ක් මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් වේ.

මෙම පුහුණුවේදී ප්‍රථමයෙන් මධ්‍යස්ථානපාදක පුහුණුවක් ලබාදී, ඉන් අනතුරුව පිළිගත් රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනයක / කර්මාන්තයක පුහුණුවකින් පසු ඇගයීම් පවත්වා NVQ සහතිකය පිරිනැමීම විශේෂත්වයයි.

පුහුණුවට බඳවා ගන්නා ආධුනිකයන් සඳහා ගමන් වියදම්, ජීවන කුසලතා හා නායකත්ව පුහුණුව සහ කර්මාන්ත / නියම වැ‌ඩබිම් පරිසර වල පුහුණුව ලබාදීම වැනි ප්‍රතිලාභ ද හිමිවේ.

එළැඹෙන 2023 වසරේ “ NVQ – 3 කෙටි කාලීන පාඨමාලා සඳහා ආධුනිකයින් 3000 ක් බඳවා ගැනීමේ විශේෂ වැඩසටහන ” තුළින් අනාගතය යථාර්ථයක් කර ගැනීමට එක්වන ලෙස නයිටා ආයතනය දැයේ දූ දරුවන්ට ආරාධනා කර සිටීන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *