රටේ තාරුණ්‍යය ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා විධිමත් වෘත්තීය පුහුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අත්‍යවශ්‍යතාව මැනවින් අවබෝධ කර ගනිමින්, ජාතික තරුණ සේවා සභාව (NYSC) හරහා පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. සාම්ප්‍රදායික රැකියා සොයන්නන් බිහි කිරීම වෙනුවට නව රැකියා අවස්ථා උත්පාදනය කරන්නන් මෙන්ම ව්‍යවසායකයන් ලෙස තරුණ පරපුර නංවාලීම මෙහි මූලික අරමුණ වී ඇත.
පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ පැවති මධ්‍යම පළාත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණුව ලැබූ තරුණ තරුණියන් සඳහා වන සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා මේ බව සඳහන් කළේය. මධ්‍යම පළාතේ පුහුණු මධ්‍යස්ථාන රැසක පාඨමාලා සාර්ථකව අවසන් කළ තරුණ තරුණියන් 409 දෙනෙකුට මෙහිදී සහතිකපත්‍ර ප්‍රදානය කරනු ලැබීය.
පොල්ගොල්ල, උලපනේ, දොළුව, රිකිල්ලගස්කඩ, දඹුල්ල සහ නාවුල ආදී පුහුණු මධ්‍යස්ථාන හරහා මානව සම්පත් කළමනාකරණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, මෝටර් කාර්මික ශිල්පී, වෘත්තීය සූපවේදී, රූපලාවන්‍ය මෙන්ම කෘෂි ක්ෂේත්‍ර ඇතුළු විවිධ ඩිප්ලෝමා සහ NVQ සහතික ලත් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කර ඇත. ඉදිරියේදී දත්ත සහ තොරතුරු මත පදනම්ව තරුණ සංවර්ධන කටයුතු සිදු කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුවද සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
















