ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීමට සහ ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන ඇති පියවර තවදුරටත් ශක්තිමත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය මඟින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. ජාතික සමගිය සහ ජාතිවාදය තුරන් කිරීම වෙනුවෙන් වත්මන් රජය දක්වන කැපවීම අගය කරන අතරම, සත්‍යය සොයාගැනීමේ සහ යුක්තිය ඉටු කිරීමේ පූර්ව උත්සාහයන් අඩපණ වීමේ සහ ඇනහිටීමේ බරපතල අවදානමක් පවතින බව ද අදාළ වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.














