නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය නවත්වන ලෙස පවසමින් ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරිකයෙකු තමාට තර්ජනය කළ බව පවසමින් “ඔන්ලයින් සුරංග” නමැති මත්පැන් ජාවාරම්කරුවෙකු අගලවත්ත පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
පසුගිය 16 වන දින අගලවත්ත, අංගම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ජාවාරම්කරුගේ නිවස වෙත යතුරුපැදියකින් ගිය අදාළ ක්‍රියාකාරිකයා ඔහුව සොයා ඇතත්, එම අවස්ථාවේ ජාවාරම්කරු නිවසේ සිට නොමැත. පසුව දෙදෙනා මාර්ගයේදී හමු වූ අවස්ථාවේදී, ක්‍රියාකාරිකයා යකඩ පොල්ලක් පෙන්වමින් මත්පැන් ජාවාරම නවත්වන ලෙස පවසා තර්ජනය කර ඇති බව පොලිස් පැමිණිල්ලේ සඳහන් වේ.
මත්පැන් ජාවාරම්කරුගේ ගැනුම්කරුවන් නිරන්තරයෙන් අදාළ දේශපාලන ක්‍රියාකාරිකයාගේ නිවස අසල ගැවසීම හේතුවෙන් උරණ වී ඔහු මෙම තර්ජනය සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අගලවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















