පසුගිය පෙබරවාරි මාසයේදී කැනඩාවේ පාසලක සිසුන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකාරියකගේ ගිණුමක් තහනම් කර තිබුණද, ඒ පිළිබඳව බලධාරීන්ට කල්තියා දැනුම් නොදීම සම්බන්ධයෙන් OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් (Sam Altman) කනගාටුව ප්‍රකාශ කර තිබේ. ජෙසී වැන් රූට්සෙලාර් නම් මෙම සැකකාරිය වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු සියදිවි හානිකරගෙන තිබුණි.
සැකකාරිය විසින් භාවිත කළ ChatGPT ගිණුම එහි ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ ජුනි මාසයේදීම තහනම් කිරීමට OpenAI සමාගම පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, එවකට එම කරුණු පොලිසියට වාර්තා කිරීමට තරම් බරපතළ ඒවා ලෙස සිය අභ්‍යන්තර පද්ධතිය හඳුනා නොගත් බව සමාගම මීට පෙර පවසා තිබුණි. ටම්බ්ලර් රිජ් (Tumbler Ridge) ප්‍රජාව වෙත ලිපියක් යොමු කරමින් ඇල්ට්මන් පවසා ඇත්තේ, මෙම අතපසුවීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටු වන බවයි.
මෙම ඛේදවාචකය පිළිබඳව කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, මෙවැනි සිදුවීම් අනාගතයේදී වැළැක්වීම සඳහා රජය සමඟ සමීපව කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) අනිසි ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කිරීමේ පද්ධති තවදුරටත් ශක්තිමත් කරන බවට ද OpenAI සමාගම මෙහිදී පොරොන්දු වී තිබේ.












