27 April 2024
#සංවර්ධන

අපි ආයෝජන කරද්දි විකුණනවැයි කියා විපක්ෂය බොරු ප්‍රචාර ගෙනියනවා – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

විදෙස් රටවල් සමඟ ආයෝජන අවස්ථාවන් සිදු කිරීමට යාමේදී ජාතික සම්පත් විකුණනවායි විපක්ෂය බොරු ප්‍රචාර සිදු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි පළමු පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවිකිරීමේ උත්සවයට ඊයේ (25) දින සහභාගී වෙමිනි.

එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා “ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ සෘජු හා වක්‍ර බදුවලින්. ජනතාව තලා පෙලා මේවා ගන්න බැහැ. කොරෝනා නිසා ජනතාව අමාරු තත්ත්වයක ඉන්නේ. කවුරු ආණ්ඩු කලත්, කවුරු ජනාධිපති වුණත් සල්ලි ගස්වලින් කඩන්න බැහැ. රට විවෘත කරලා ආර්ථිකයට ඉඩ දෙන්න ඕන. ආදායම් එන ඒවා සියල්ල නැති වෙලා. යුක්රේන සංචාරකයින් ගෙන එන විට යුක්රේන ගණිකාවෝ ගේනවා කිව්වා. සෘජු ආයෝජන ගේන්න ගියාම රට විකුණනවා කිව්වා. LNG බලාගාරය අවුරුදු පහකට දුන්නාම ජාතික සම්පත් විකුණනවා කියනවා. ආයෝජන සඳහාවත් අවස්ථාවක් දෙන්න බැහැ. LNG ව්‍යාපෘතිය තුළින් ඒකකයකට රුපියල් 30 ක් වියදම් වෙනවා. මෙම ව්‍යාපෘතිය තුළින් රුපියල් 19 යන්නේ. රුපියල් 11ක් එක ඒකකයකට අඩු වෙනවා. ඒ නිසා කෝටි ගණනක් ඉතිරි වෙනවා. නමුත් ජාතික සම්පත් විකුණනවා කියලා කඩාකප්පල් කරනවා. ගෑස් ඒකාධිකාරයක් දීල තියෙනවා කියනවා. ගෑස් ගන්න ලෝකයේ දර්ශක තියෙනවා. මිල ගණන් තියෙනවා. ඒ සඳහා ලෝකයේ පිළිගත් මිලක් තියෙනවා. ඔය කියන විදියට ගෑස් ඒකාධිකාරයක් කාටවත් දීල නැහැ. ඒ අවම මිලට ගන්න පුළුවන් විදියට ගිවිසුම සකස් කරල තියෙනවා. සංචාරක ව්‍යාපාරයටත් විරුද්ධයි, ආයෝජනවලටත් විරුද්ධයි,ආදායම් මාර්ග එන එකටත් විරුද්ධයි. අද අපට ලෝකයේ ඕන රටකට ගිහිල්ලා ගෙවල් ගන්න පුළුවන්, රැකියා කරන්න පුළුවන්, ඡන්දය ඉල්ලන්න පුළුවන්, පුරවැසිකම ගන්න පුළුවන්. ඒත් ඇමෙරිකාවේ, එංගලන්තයේ කාටවත් මෙහෙ ඇවිත් මුකුත් කරන්න බැහැ. ජාතික සම්පත් විකුණනවා කියලා බොරු කියන්නේ නැතුව අපට අනිකුත් රටවල් ලබාදී ඇති අවස්ථාව ඒ රටවල අයටත් ලබාදෙන්න ඕන. එතකොට තමයි අපට විදේශ විනිමය එන්නේ. කවුරු කෑගැසුවත් අපි ජාත්‍යන්තර සමඟ වැඩ කරන්න ඕන. එහෙම නැතුව අපට ගමනක් යන්න බැහැ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *