27 April 2024
#Uncategorised

ආණ්ඩුවේ දෙබිඩි රංගනය බව විපක්ෂ නායක කියයි 

ජනාධිපතිවරණ සමයේදී නොමිලේ ජනතාවට රසායනික පොහොර දෙන්න පොරොන්දු වූ ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රතිපත්ති සියල්ල උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) පැවැති තිස්සමහාරාමයේ වනසපුගල ප්‍රදේශයේ  ජනතා ගැටලු විමසන “නගරයෙන් නගරයට ගමින් ගමට  දොරින් දොරට” වැඩසටහනකට සහභාගි වෙමිනි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැයට අනුව සහන හිමි වන්නේ කාබනික පොහොරවලින් වගා කරන ගොවීන්ට පමණක් බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ රටේ ගොවි පරපුරට ආණ්ඩුව  මෙතරම් ද්‍රෝහී වන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

ගොවිජනතාවට වන්දි ගෙවන්නට අයවැයෙන් එක රුපියලක් වෙන් කොට නැතිබව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව රෑට  පොහොර තහනම ඉවත් කළා කියා, උදේට එහෙම තීන්දුවක් අරන් නෑ කියන බවත්, හවසට තවත් එකක් කියන අතරේ රිවස් කරන ගැසට් ගසන බවත් පැවසීය.

වසවිසෙන් තොර කෘෂිකර්මාන්තය දියුණු කරන්න යැයි කියා රු.මිලියන 4000ක් වෙන් කොට ඇති බව කියන ආණ්ඩුව කාබනික වගාවේ වල්නාශක ඉවත් කරන්න  හෙක්ටයාර දෙකකට රු 5000 ගානේ දෙන බව කියා ඇතැයිද පැවසීය.

ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය රු.මිලියන 35000ක් වෙන් කරන අතරේ රසායනික පොහොර ගෙන්වන්න පෞද්ගලික ආයතනවලට අවසර දෙන්නේ මන්දැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

ඒ සියල්ල  අතරේ ජනාධිපති නිවේදනය තුල රටේ ක්‍රියාත්මක වන්නේ තවදුරටත් කාබනික කෘෂිකර්මාන්ත ප්‍රතිපත්ති බව පවසමින් ආණ්ඩුව දෙබිඩි රංගනයක යෙදෙන බව විපක්ෂ නායකවරයා කීය.

ආණ්ඩුව ගමට නගරයට ගෙනියන වැඩපිළිවෙළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ ජනතාවාදී වැඩපිළිවෙළ සමගි ජනබලවේගය ක්‍රියාත්මක කරන්නේ යැයිද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *