27 April 2024
#දේශීය

ලිස්ට්වලින් බඳවා ගැනීම් අපේ රජයේ නැහැ- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

දේශපාලන හිතවත්කම් හෝ වෙනත් බලපෑම් මත අධ්‍යාපන පරිපාලන සහ විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීමට හෝ ඊට අදාළ නම් ලැයිස්තු සැකසීමට කිසිසේත් ම කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) ශ්‍රී ලංකා පොදු පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාව සඳහා එක් වෙමිනි.

එහිදී මාධ්‍යවේදීයෙකු විසින් දැනට පුරප්පාඩුව පවතින 4,600ක් වන විදුහල්පති තනතුරු සහ 270ක් වන අධ්‍යාපන පරිපාලන තනතුරු සඳහා දේශපාලන හිතවත්කම් මත ලැයිස්තු සැකසීමක් සිදුව ඇත්දැයි ප්‍රශ්ණ කර සිටියේය.

එයට පිළීතුරු ලබා දුන් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය “පරිපාලන තනතුරු සඳහා දේශපාලන හිතවත්කම් මත ලැයිස්තු සැකසීමක් සිදුව ඇතැයි යන්න අසත්‍යයි. මම කිසි ම ලැයිස්තුවක් සකසන්න, සැකසීමට උපදෙස් දීමක් හෝ පත් කිරීමක් පිළිබඳ ව හෝ ඊට අත්සන් කිරීමක් සිදු කළේ නැහැ. එහෙම දෙයක් ඉදිරියේ දීත් වෙන්නට දෙන්නේ නැහැ. එහෙම ලැයිස්තු හදලා පත්වීම් දුන්නේ කාගේ ආණ්ඩුව ද කියලා අපි හැම දෙනා ම දන්නවා. ඒවාට අදාළ ලිඛිත සාක්ෂිත් අප සතුව තියෙනවා. පුද්ගලයන් තනතුරුවලට හෝ සම්මුඛ පරීක්ෂණවලට යොමු කරන්නේ ඒ අයගේ කුසලතා අනුව. පරීක්ෂණයට පෙර ලැයිස්තු හදන එක කොයි ආණ්ඩුවෙ තිබ්බත් අපේ ආණ්ඩුවේ නැහැ. පසුගිය ආණ්ඩුවෙ පත්වීම් කරපු විදිය පොඩ්ඩක් හොයලා බලන්න. මම ලිස්ට් දාලාත් නැහැ. අත්සන් කරලත් නැහැ. කරන්නෙත් නැහැ . දේශපාලන මැදිහත්වීම් මත දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමක් දැන් සිදුවන්නේ නැහැ. මේ පාසල් සම්බන්ධ ගැටලුව විසඳන්නට මට අවශ්‍යයි. ඒ නිසා පාසල්වල තිබෙන ඇති-නැති පරතරය අඩු කරන්නට අපි කටයුතු කළ යුතු යි. දේශපාලන බලයට දරුවන් පාසලට ඇතුළත් කිරීම වගේ දෙයක් සිදුවීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ම සිදුවන්නේ විශාල හානියක්.

ඒවගේ ම ඉතා ම සතුටින් කියන්නට කැමතියි අද දින එනම් 2021/03/29වන දින දිවයිනේ සමස්ත පාසල් පද්ධතිය ම විවෘත කරන්නට අපිට හැකියාව ලැබුණා. දෙමාපියන්ගේ සහ දරුවන්ගේ නොනවතින ඉල්ලුම මේ කටයුත්තට අපව උනන්දු කළා. කොවිඩ් 19ත් එක්ක එහි පීඩනයත් එක්ක හිටපු දරුවන්ට මේක විශාල සහනයක් වන බව අපි දන්නවා. ඒවගේ ම සියලු ම පාසල්වල නිසි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සකසලා තිබෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ නිර්දේශ සලකා බලමින් ඒ සඳහා කැපවීමෙන් යුතු ව එම පිරිසිදු කිරීම් සහ අදාළ සෞඛ්‍යාරක්ෂිත කටයුතු සිදු කරලා අවසන්. අප්‍රේල් 09 නිවාඩු දෙනතෙක් සහ සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව අප්‍රේල් 19වැනි දින විවෘත වනතෙක් ආණ්ඩුවට ඉවසන්න තිබුණා යැ යි, ඇතැමෙක් කීව ද මේ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සතියකින් තබා දිනකින් හෝ ඈතට දානවා කියන්නේ අපේ රටේ අනාගතය දවසකින් ආපස්සට දැමීමක්. සියලු ම සෞඛ්‍ය නීති-රීති සහ උපදෙස්වලට අනුව පන්ති කාමර සහ පාසල් සකස් කිරීමෙන් අනතුරු ව මෙසේ පාසල් ආරම්භ කරන්නට අපි කටයුතු කළා. ඒ නිසා දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට පවසන්නට මා කැමතියි ඔබේ දරුවා ත් පාසලට එවන්න.” යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *