හිටපු ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩා පරිපාලකයෙකු වන එයාර් වයිස් මාර්ෂල් පද්ම ද කොස්තා මහතා ගුවන් හමුදාවේ නියෝජ්‍ය ප්‍රධාන කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් කර තිබේ. මෙම උසස්වීම සහ පත්වීම ලබාදීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් සිදු කරන ලදී.
මෙවැනි ඉහළ තනතුරකට පත් වූ පළමු හිටපු ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයා ඔහු වේ. කොළඹ රාජකීය විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ඔහු, 1991 වසරේ පාසල් කණ්ඩායමට නායකත්වය ලබා දී ඇත. පසුව රූපවාහිනී වොලිබෝල් තරගාවලිය සහ ජාතික ශූරතාව ඇතුළු ප්‍රධාන වොලිබෝල් තරගාවලි සඳහා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කළේය.
ක්‍රීඩා දිවියෙන් පසු ක්‍රීඩා පරිපාලනයට පිවිසි ඔහු, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ අතර ජාත්‍යන්තර තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කළමනාකරණය ද කළේය. ගුවන් හමුදා වොලිබෝල් සභාවේ සහ ආරක්ෂක සේවා ක්‍රීඩා සභාවේ ලේකම් ධුර දැරූ ඔහු, ජාත්‍යන්තර යුධ ක්‍රීඩා කවුන්සිලයේ (International Military Sports Council) වොලිබෝල් සහ බීච් වොලිබෝල් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි. මෙම මට්ටමේ ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලන තනතුරකට තේරී පත් වූ එකම ශ්‍රී ලංකියා ද ඔහු වේ.
දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා පිළිබඳ පුළුල් දැනුමක් ඇති එයාර් වයිස් මාර්ෂල් පද්ම ද කොස්තා මහතා 1951 සිට 2021 දක්වා ගුවන් හමුදා ක්‍රීඩා ඉතිහාසය ලේඛනගත කරමින් “Glorious Sporting History – Sri Lanka Air Force” නමින් ග්‍රන්ථයක් ද සම්පාදනය කර ඇත. රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඔහු ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.
















