මතුපිට ජල ගබඩා සිඳී යාම සහ භූගත ජල සම්පත වේගයෙන් ක්ෂය වීම යන ද්විත්ව තර්ජනයට මුහුණ දෙමින් පාකිස්තානය මේ වන විට දැවැන්ත ජල අර්බුදයකට මැදිව සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර සම්මතයන්ට අනුව රටක ජල ගබඩා කිරීමේ ධාරිතාව අවම වශයෙන් දින 120ක ප්‍රමාණයකට පැවතිය යුතු වුවද, පාකිස්තානය සතුව පවතින්නේ දින 30කට පමණක් ප්‍රමාණවත් ජල ධාරිතාවක් බැවින් එරට දැඩි ජල හිඟයකට ලක්ව ඇති රටක් ලෙස නිතර වර්ගීකරණය කෙරේ. පසුගිය 2025 මාර්තු මාසයේදී එරට ප්‍රධාන ජලාශ වන තර්බේලා සහ මංග්ලා ජලාශවල ජල මට්ටම පහළම සීමාව දක්වා ඇද වැටුණු අතර, ‘ඛරීෆ්’ වගා කන්නය ආරම්භයේදීම සින්ද් ප්‍රදේශයට සියයට 50ක පමණ දැවැන්ත ජල හිඟයකට මුහුණ දීමට සිදු විය. ඉන්දු නදී පද්ධති අධිකාරිය පවසන්නේ එකී කාල සීමාව තුළ ජලාශ මෙලෙස ජල ශූන්‍ය මට්ටමට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් බවයි.
භූ-දේශපාලනික සහ ගිවිසුම් පිළිබඳ ගැටලු පසෙක තැබුවද, පාකිස්තානයේ ජල ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වී ඇත්තේ එරට අභ්‍යන්තරයේ පවතින ආයතනික අකර්මන්‍යතාවය, වේලිවල රොන්මඩ පිරීම සහ ජලය බෙදා හැරීමේදී සිදුවන අධික නාස්තියයි. මෙකී අසාර්ථකත්වයන් හේතුවෙන් එරට වටිනා මිරිදිය විශාල ප්‍රමාණයක් අපතේ යමින් මුහුදට ගලා බසී. නාසා ආයතනයේ GRACE දත්තවලට අනුව, පෘථිවියේ වඩාත්ම පීඩනයට ලක්ව ඇති භූගත ජලධරයන්ගෙන් එකක් ලෙස ඉන්දු නදී ද්‍රෝණිය හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම මධ්‍යම පන්ජාබ් කලාපය තුළ පාලනයකින් තොරව සිදුකරන ජලය නිස්සාරණය, කාලගුණික බලපෑම් සහ නියාමන ආයතනවල අසමත්කම හේතුවෙන් එරට භූගත ජලය ක්ෂය වීමේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
පාකිස්තානය පුරා සිදුවන සීග්‍ර භූගත ජල ක්ෂය වීම හමුවේ එරට සුළුපරිමාණ ගොවීන් දැඩි ණය බරකින් සහ දිළිඳුකමින් මිරිකෙමින් සිටින බවත්, අපවිත්‍ර වූ භූගත ජලය භාවිත කිරීමට සිදු වීම නිසා දීර්ඝකාලීන රෝගාබාධ, ළමා මරණ ඉහළ යාම සහ මානව සම්පත පිරිහීම වැනි බරපතළ සමාජ-ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින බවත් වාර්තා වේ. පාකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 24%කට ආසන්න ප්‍රමාණයකට දායක වන, සමස්ත රැකියා නියුක්තියෙන් තුනෙන් පංගුවකට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන කෘෂිකාර්මික ක්ෂේත්‍රය මෙලෙස ජල අර්බුදය උග්‍ර වීමට ප්‍රධානතම හේතුව බවට පත්ව තිබේ.














